Sunday, May 5, 2013

අකුසල මූලධර්ම අපරාධයකට යොමු කරවයි:

සුසුඛං වත ජීවාම - ආතරෙසු අනාතුරා

ආතුරේසු මනුස්සේසු - විහාරාම අනාතුරා

කෙලෙස්වලින් ආතුරව - ලෙඩව ජීවත් වන මිනිසුන් අතරෙහි අපි කෙලෙස්වලින් අනාතුරව ලෙඩ නොවී ඒකාන්තයෙන් ම ඉතා සුවසේ ජීවත් වෙමු. අපි ආතුර වූ මිනිසුන් මැද අනාතුරව ජීවත්වෙමු.

ආයුර්වේදය කියන්නේ ආයුෂ වර්ධනය කරන විද්‍යාවයි. අපගේ මුතුන් මිත්තන්ගේ ආයු කාලය අවුරුදු 120ක් වුවත්, වර්තමාන මිනිසාගේ ආයු කාලය අවුරුදු 65ත් 70 ත් අතර කාලයකට සීමා වී තිබේ. වසර දෙදහස් ගණනක් ඈතට ගිය අපගේ ප්‍රෞඪ ඉතිහාසයෙන් පෙනෙන්නේ එදා අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් බව ය. රුවන්මැලි මහා සෑය, ජේතවනාරාමය වැනි මහා දාගැබ්, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව වැනි මහා වැව්, ලෝවාමහාපාය වැනි දැවැන්ත ශෛලමය ගොඩනැගිලි ආදිය ඉදිකිරීමට අපේ මුතුන් මිත්තන්ට ශක්තිය ලැබුණේ බත් හා ශාක ව්‍යංජන ආහාරයට ගැනීමෙනි.

බටහිර හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සත්ත්වයා ලෙඩ කරවන ප්‍රධාන හේතුවක් ලෙස විෂම ආහාර ගැනීම පිළිගැනේ. ඉන් විෂම ආහාර වන්නේ මස් මාංශ, තෙල් අධික ආහාර හා පැණි රස ආහාරයි. එයිනුදු මස් මාංශ භාවිතය ප්‍රධාන තැනක් ගනී. මස් මාංශ ආහාර භාවිතය නිසා මිනිසා කායිකව මෙන් ම මානසිකව ද යම් යම් රෝගාබායන්ට ගොදුරු වේ.

රස තෘෂ්ණාවට ගිජු වූ මිනිසා තමාගේ ම වැරැදි ආහාර රටාව හා ජීවන රටාව නිසා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා අඩු කරගෙන ඇත. සත්ත්ව මාංශ අනුභවයේ ප්‍රතිඵලයක් ලෙස, වර්තමාන මිනිසා රෝගී වන ප්‍රවණතාවය වැඩි ය. අධික තරබාරුව, සම දුර්වර්ණ වීම, දහඩියෙන් දුර්ගන්ධය හැමීම, හිසකෙස් අකලට පැසීම, ස්නායු රෝග, පිළිකා රෝග, ශරීරයේ උෂ්ණාධික බව, ගර්භාශගත පිළිකා හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා යනාදී විවිධාකාර රෝගී තත්ත්වයන්ට වර්තමාන මිනිසා නිරන්තරයෙන් ගොදුරු වෙයි. එසේම, මිනිසාගේ සත්ත්ව මාංශ අනුභවයෙන් තවත් ප්‍රතිඵලයක් වන්නේ, තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීමයි.

කිසියම් සතෙක් මරණාසන්නයේ සිටින විට එම සත්ත්වයා සිටින්නේ විශාල බියකින්, තැතිගැන්මකින් හා ක්‍රෝධයකින් ය. එම අවස්ථාවේදී එකී සත්ත්වයාගේ රුධිරයට ‘ස්ටියරොයිඩ්’ නම් හෝමෝනය අති විශාල ප්‍රමාණයක් එකතු වේ. එම හෝමෝනය අධික ලෙස ශරීරය තුළ එකතු වන විට ශරීරයට නොයෙකුත් හානිකර බලපෑම් ඇති වන අතර, එවන් තත්ත්වයට පත් මාංශ ආහාරයට ගත් විට මිනිස් ශරීර අභ්‍යන්තරය ද නොයෙක් රෝගවලට ගොදුරු වනු ඇත. වේද ග්‍රන්ථයන් හී ‘රජසික්’ යනුවෙන් හඳුන්වන්නේ ද මෙම මාංශ ආහාරයයි. කාම ක්ලේශ උද්දීපනය කරන අර්ථයෙන් මෙම ආහාර ‘රජසික්’ නමින් වේ. කායික රෝග ගණනාවකට අත වනන මස් මාංශ අනුභවය මානසික රෝග ගණනාවක් වැළදීමේ මාර්ගය එළි පෙහෙළි කරයි. මාංශ ආහාර මිනිස් සිරුරේ ‘ඇඩ්‍රිනලින් හා නොඇඩ්‍රිනලින්’ වැනි ස්නායු උත්තේජකයන් නිකුත් කිරීමේ ප්‍රවණතාව වැඩි කරයි. ඒ මඟින් පුද්ගලයා තුළ කලහාකාරි ප්‍රචණ්ඩ ස්වභාවයක් ඇති කරයි. එවන් කලහාකාරී ප්‍රචණ්ඩ තත්ත්වයන් ඇති වීම මත මිනිසා අපරාධවලට පෙළඹීම වර්ධනය වනු ඇත.

මිනිසාගේ පරිභෝජනය උදෙසා සතුන් මැරීමේ දී ඇති වන සහාසිකත්වය හා කෲරත්වය පිළිබඳව අමුතුවෙන් ඔබට කිවයුතු නැත. යම් අයෙක් එකී මස් මාංශ අනුභව කරන්නේ නම්, ඔහු හෝ ඇය මෙම සහාසිකත්වයේ හා කෲරත්වයේ කොටස්කරුවන් වී ඇත. මස් මාංශ අනුභව කරන්නාගේ සිත තුළ සහාසිකත්වය හා කෲරත්වය වර්ධනය වන්නේ ඔහුට හෝ ඇයට නොදැනීම ය. මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව වැනි මානුෂික ගුණ ධර්මයන් එම පුද්ගලයන්ගේ හදවත තුළින් පලා යයි. තරහාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම වැනි පාපතර අරමුණු පුද්ගල සිත තුළ වර්ධනය වීමට පටන් ගනී. මිනිසා අපරාධයන්ට යොමු වන්නේ එකී අකුසල මූලයන් සිත තුළ වඩ වඩාත් වර්ධනය වීම සමඟ ය. අසරණ සතෙකුගේ මරණයේ වේදනාව, බිය හා තැතිගැන්ම නිසා හටගන්නා මානසික විකෘතිභාවය, එම මාංශ අනුභව කරන පුද්ගලයාගේ මනස විකෘති කිරීමට ද හේතු වනු ඇත. මස් මාංශ අනුභවය නිසා මනස විකෘතිව යම් යම් අපරාධ හා කෲරකම් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ තරම් සොයා ගත හැකි ය.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර වාසය කළ රසල් සේටන් ඉයුජන් නමැත්තා එක්තරා ස්ථානයකදී තුවක්කුවක් අමෝරා වෙඩි තබන්නට පටන් ගත්තේය. ඔහුගේ එම ක්‍රියාවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර, සාමාන්‍ය වැසියකු තුවාල ලැබී ය. මෙම සිද්ධිය වීමට පැය කිහිපයකට පෙර මෙම තැනැත්තා තවත් වෙඩි තැබීමක් කර ඇත. එවර ඔහුගේ ඉලක්කය වී තිබුණේ තම පියා හදා වඩා ගත් දොලොස් දෙනකුගෙන් යුත් බළලුන් කණ්ඩායමකි. මොහු සත්ත්ව ඝාතනයේ මෙන්ම සත්ත්ව මාංශ අනුභවයේ ද ගිජුව සිටි බව පර්යේෂණවල දී හෙළි විය.”

රහස් පරීක්ෂණයන්ට අනුව භයානක අපරාධකරුවන්ගෙන් 80%ක්ම අපරාධයක් කිරීමට පෙර සතුන්ට කෲර ලෙස වධ හිංසා පමුණුවා ඇත. කලක් තිස්සේ මස් මාංශ අනුභවයට ද හුරුව සිට ඇත. එයින් ඔවුන් විකෘතිතර ආශාවන් ලබා ගෙන සතුනට වධහිංසා මෙන් ම සත්ත්ව මාංශ අනුභව කරන පුද්ගලයන්ගේ සිත් අපරාධයකට කෲරත්වයට පෙළෙඹීමේ ඉඩ කඩ වැඩි බවයි. ඔවුනගේ හදවත දුෂ්ට වනු ඇත. හදවත දුෂ්ට වන තරමට ඔහු හෝ ඇය තුළින් සමාජයට වන හානිය ද අති විශාල ය. මෙයින් පැහැදිලි වන්නේ තත්ත්පර කිහිපයක රස තෘෂ්ණාවට, අසරණ සතකුගේ මාංශ බුදිමින්, එයින් ද නොනැවතී තමන් සමාජයට ද හානිකර පුද්ගලයකු වී ඇති බවයි. ආහාරය මූලික අවශ්‍යතාවයක් වුවත්, එම ආහාරය නිවැරැදිව තෝරා නොගැනීම නිසා තමා විනාශ වනවා පමණක් නොව සමාජයේ ජීවත්වීමට ඇති අනෙකෙකුගේ ජීවත් වීමේ අයිතිය ද බලහත්කාරයෙන් උදුරා ගෙන ඇත.

නිර්මාංශ ආහාර ගැනීමෙන් මිනිසා කායිකව මෙන් ම මානසිකව ද රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවය අඩුවෙයි. නිර්මාංශ ආහාරවලින් ඉතාම ඉහළ මට්ටමේ පෝෂණයක් මනුෂ්‍ය ශරීරයට ලැබෙනු ඇත. අතීතයේ මිනිසා නිරෝගීව, පැහැපත්ව හා අන්‍යයන්ට ප්‍රියමනාප වනසේ ජීවත් වූයේ නිර්මාංශ ආහාර වේලක් උපන් සත්ත්ව ප්‍රජාව කෙරෙහි පමණක් නොව, නූපන් සත්ත්ව ප්‍රජාව කෙරෙහි ද, ශාක ආහාරවලින් ධනාත්මක වර්ධනයක් ගොඩනගා ගත හැකියි. එනම්, නිර්මාංශ වූ දෙමාපිය දෙපළකට ලැබෙන දරුවා ලෙඩ රෝග අඩු, හෘදයාබාධවලට උරුමකම් නොකියන, අංග සම්පූර්ණ අවයවවලින් හෙබි, දීර්ඝායුෂ භුක්ති විඳීමේ වාසනා ශක්තිය ඇති, උසස් මානසික ශක්තියක් ඇති පින්වන්ත දරුවෙකි.

එනිසා මොහොතක් ඔබ බුද්ධිමත්ව සිතන්න.... රස තෘෂ්ණාවේ ආදීනව මෙනෙහි කරන්න..... තමන් ගන්නා ආහාරය තමන් අපරාධයකට - කෲරත්වයට - සහාසිකත්වයට පොළඹ වන දෙයක් කර නොගන්න.

වෛද්‍ය ගීතා ජානකී හේරත් මහත්මිය
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ
උප සභාපතිනි, පිළියන්දල - මඩපාත ජීවක වෙද නිවසෙහි විශේෂඥ ආයුර්වේද

"Siri Saddharmaya සිරි සද්ධර්මය"

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..

No comments:

Post a Comment