විපත් වළකන පිනක මහිමය ෴
෴෴සත්වරක් මරණයෙන් වැළකී සිටු පදවි ලද ඝෝෂක෴෴
දහම් රසය විදින්න එක්වන්න අප සමග- භව කර්ම (Bawa Karma)
අගලකඩ සිරිසුමන හිමි
එක්තරා කාලයෙක දුර්භික්‍ෂයක් පැවැති යුගයෙක “කොතූහලික” නම් සැමියෙක්
‘කාළි’ නම් බිරිය ද සමඟ කාපි නම් බිලිඳු පුතෙකුද රැගෙන ජීවිතය රැක ගැනීම
පිණිස එම ප්‍රදේශයෙන් නික්මී වෙනත් ප්‍රදේශයකට ගමනාරම්භ කළහ. මොවුන් බඩසා
දුකින් පීඩිත වූ හෙයින් දරුවා ඔසවාගෙන යාම ද අපහසු විය. දරුවා මහමඟ දමා
යන්නට සැමියා යෝජනා කළ අතර මව එයට විරුද්ධ වූවාය. එහෙත් පසුව සාගින්නේම
පුතු මළේය.
අනතුරුව දෙදෙනා එක්තරා ගොපලු ගම්මානයකට පැමිණි අතර එහි
ප්‍රධාන ගොපල්ලාගේ නිවසෙහි දෙනුන් අරබයා මංගල්‍යයක් පිළියෙළවනු දැක ඔවුහු
එම නිවසට ගොඩවැදුණහ.
මේ ගොපලු නිවසට පසේ බුදුවරයෙක් වැඩම කළහ.
ගොපල්ලා උන්වහන්සේට දානය වැළඳීමට කටයුතු පිළියෙල කළේය. ඒ සඳහා බොහෝ කිරිබත්
ආදිය පිළියෙල කර තිබූ අතර මෙමඟින් දෙදෙනාටද ගොපල්ලා කිරිබත් පිළිගැන්වීය.
කාලයක සිට පැවැති බඩගිනි නිවෙන පරිදි බොහෝ ගිතෙල් හා මිශ්‍ර කිරිබත් ඔවුහු
අනුභව කළහ.
මේ අතරෙහි ගොපල්ලා තම නිවසෙහි හුන් බැල්ලියකට ද බොහෝ
කිරිබත් පිළිගන්වනු බලා සිට මෙම බැල්ලීය පවා තමාට වඩා වාසනාවන්ත බවත්
තිරිසන් වීත් තමන්ට වඩා හොඳින් ආහාර ලබන්නට හැකි වී ඇති බවත් සිතා ඊර්ෂ්‍යා
පරවශ සිතිවිල්ලක් ඇති කර ගත්තේය. මෙම සිතිවිල්ල ඉතා බලවත් වූ අතර ගත් අධික
ආහාර දිරවාගත නොහී රාත්‍රියෙහි මියැදෙන මගියා බැල්ලියගේ කුසයෙහි පිළිසිඳ
ගත්තේය. බිරිඳ සැමියාගේ අවමංගල්‍යය සිදු කර එම නිවසෙහිම බැළ මෙහෙවරෙහි නිරත
වූවාය.
කල්යාමේදී මෙම බැල්ලිය එකම පැටවෙකු වැදුවාය. ගොපල්ලා එම
බලු පැටියා හොඳින් පෝෂණය කළ අතර එක දෙනකගේ කිරි ඌ වෙනුවෙන්ම වෙන් කළේය. ඉතා
ඉක්මනින් සුවෙන් වැඩුණූ මෙම සුනඛයා තම නිවසට වඩින පසේබුදුරදුන් සමඟ මිත්‍ර
වූයේය. පසේබුදුරදුන් වෙතින් ආහාර පිඬක් ද නිතිපතාම ලබන්නට පුරුදු විය.
ගොපල්ලා පසේබුදුරදුන්ට උවටැන් කරන්නට ආරාමයට දිනකට දෙවරක් යන අතර සුනඛයාද
පෙරමඟ ම ගොස් බුර බුරා මාර්ගයේ ඇති වනසතුන් මගහැරවී ය.
ඇතැම්
දිනවල ගොපල්ලාට ආරාමයට එන්නට නොහැකි වූ විට සුනඛයා පිටත් කරවන අතර ඌ ගොස්
ආරාම මිදුලේ තුන්වරක් බුරා පසෙකට වී සිටියේය. එවිට එය අවබෝධ කර ගන්නා වූ
පසේබුදුරදුන් සුනඛයා ද සමඟ ගොපලු නිවසට වඩින අතර මාර්ගයේදී වනසතුන් පලවා
හරින්නට බුර බුරා එයි. පසේබුදුරදුන් වෙනත් මාර්ගයකට හැරුණු කල්හි සුනඛයා
ගොස් සිව්රෙන් ඇද නිසි මාර්ගය වෙත යොමු කර ගනී.මෙසේ ගොපල්ලාට සේම පසේ
බුදුරදුන් වෙතද බලවත් සෙනහසකින් මේ සුනඛයා ජීවත් වූවේය.
මේ අතරෙහි
මෙම පසේබුදුරදුන් වහන්සේ තම සිව්රු දිරාපත් වූ හෙයින් සිව්රු පිළියෙල
කරගන්නට වෙනත් ප්‍රදේශයකට යන බව දන්වා සිටියේය. ගොපල්ලා පිදූ වස්ත්‍රද
රැගත් උන්වහන්සේ අහසට පැන නැගී ගන්ධමාන පර්වතයට වැඩම කරන්නට වූහ. තමන්ගෙන්
වෙන්ව යන පසේබුදුරදුන් දෙස බලා සිටි සුනඛයා අහස දෙස බලා ඇති තරම් බුරා
ශෝකයෙන් ළය පැලී මිය ගියේය. කපටි බවින් තොරව පිරිසුදු චේතනාවෙන්
පසේබුදුරදුන්ට සෙනෙහස දැක්වූ සුනඛයා මිය ගොස් තවුතිසා දෙව්ලොව ඝෝෂක නම්
දිව්‍ය පුත්‍රයා වී උපත ලැබුවේය. ඔහුගේ හඬ සකල දේව නගරයේම පැතිරී ගිය අතර
පසේ බුදුරදුන් රකින්නට බිරූ පින මේ සඳහා හේතු විය.
දෙව්ලොව වසන
දෙවියෝ කාරණා හතරක් මූලික කරගනිමින් චුතවෙති. එනම් ආයුක්‍ෂය, පුණ්‍යක්‍ෂය,
ආහාරක්‍ෂය සහ කෝපක්‍ෂය යනු එම කරුණු හතරයි.ඝෝෂක දිව්‍ය පුත්‍රයා ආහාරක්‍ෂය
හේතුවෙන් දෙව්ලොවින් චුතව කොසැඹෑ නුවර වෙසඟනගේ පුතෙකු වී උපත ලැබුවේය.
වෙසඟනෝ තම වෘත්තිය සඳහා දියණියක ලද විට සුරකින අතර පුතෙකු වී උපත ලැබුවේය.
වෙසඟනෝ තම වෘත්තිය සඳහා දියණියක ලද විට සුරකින අතර පුතෙකු උපත ලැබූ විට
ඔහුව දාසියෝ ලවා කසළ ගොඩකට දැමූහ.
කසළ ගොඩට දැමුනු මෙම දරුවා පෙර
භවයෙක පසේබුදුරදුන් රකින්නට සුනඛයකු වී බිරූ පිනෙන් මේ භවයේ කිසිදු සතෙකුට
ළංවීමට නොදී සුනඛයන් විසින්ම ආරක්‍ෂා කරන ලදී. සුනඛයන් වටකරගෙන බුරන්නේ
කුමකටදැයි විමසිලිමත් වූ එක්තරා මිනිසෙක් මේ දරුවා රැගෙන තමන්ට දරුවෙකු
ලැබුණා යැයි සිතා සතුටුව තම නිවසට රැගෙන ගියේය. මේ අතරෙහි කොසඹෑ නුවර
සිටුවරයා මේ දරුවා ගැන ආරංචි නක්‍ෂත්‍ර බලා ඔහු අනාගත සිටුවරයෙක් වන බව දැන
ගත්තේය. අර මිනිසා වෙත දාසියක යැවූ සිටුතුමා කහවුණු දහසක් දී දරුවා මිලට
ගෙන මරා දමන්නට තීරණය කළේය. ඒ සඳහා විශාල ගවගාලක උදෑසන දොරටුව අරින වේලේ
දරුවා ගවයන් ලවා පාගවා මරවන්නට දොරටුව අසලින් තැබුවේය. එහෙත් එදින ගවරැලේ
නායක වෘෂභයා, සියලු ගවයන්ට පෙර නික්මී අනෙක් ගවයන්ට පෑගෙන්නට නොදී දෙපා සතර
තබා රැක්කේය. පසුව ගව රැළෙහි හිමිකරු දරුවා රැගෙන ගියේය.
දරුවා
මිය නොගිය බව ආරංචි ලැබුණු සිටුවරයා නැවතත් දාසිය යවා ගව රැළෙහි හිමිකරුට
කහවනු දහසක් දී දරුවා ගෙන්වා ගත්තේය. පසුදා උදෑසන වෙළෙදාමෙහි ගැල් පන්සීයක්
රෝද වලට දරුවා හසු කොට මරා දමන්නට තීරණය කළේය. ගැල මඟෙහි දරුවා තැබුවත්
එකඳු ගැලක්වත් දරුවා මතින් ඉක්මවා ගියේ නැත. දරුවා රැකුණේය. නැවතත්
සිටුවරයා දාසිය ලවා දරුවා අමු සොහොනකට ගෙනගොස් ගස් අතරෙහි රඳවා තබා සතුන්
විසින් කවා මරා දමන්නට උපක්‍රම යෙදුවේය. එහෙත් කිසිඳු සතෙකු ළං වූයේ නැත.
මෙසේ යෙදූ කිසිඳු උපක්‍රමයක් සාර්ථක වූයේ නැත. දරුවා ක්‍රමයෙන් වැඩෙන්නට වී
ඝෝෂක යන නම් ද ලැබුණි. සිටුවරයාට මෙය මහත් පීඩාවක් ම විය.
අවසානයේ වළං තනන පෝරණුවක් හිමි මිත්‍රයෙකු වෙතට ගොස් කහවණු දහසක අත්තිකාරම්
මුදලක් දී තමනට අයත් නොවන දරුවෙකු සිටින බවත් ඔහු ඔබ වෙතට එවන බවත් ඔහු
සැළියක බස්සවා වළං පෝරණුවට දමා වළං සමඟ පුළුස්සා දමන්නැයි ඉල්ලා සිටියේය.
මුදලට ලෝභී වූ වළංකරු ඊට කැමැති විය. සතුටින් නිවසට පැමිණි සිටුවරයා පසුදින
ඝෝෂක පුතු කැඳවා නියමිත වළංකරු වෙත පණිවිඩයක් කියා එන්නැයි පිටත් කළේය.
ඔහු ඒ සඳහා පිටත්ව යද්දී සිටුවරයාගේ පුතු ද අතරමග ක්‍රීඩාවෙහි යෙදී
සිටියේය. තම නිවසෙහි වැඩෙන ඝෝෂක මාර්ගයෙහි යනු දුටු සිටු පුතු කොහි
යන්නේදැයි ඔහුගෙන් විමසීය. පියාගේ පණිවිඩයක් කුඹලා වෙත රැගෙන යන බව කියූවිට
සිටු පුතු තමා එය ඉටු කර එන බවත්, එතෙක් ඔබ මේ අය සමඟ ක්‍රීඩාවෙහි යෙදෙන
ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව කුඹලා වෙතට පැමිණියේ ඝෝෂක නොව සිටුවරයාගේම
පුත්‍රයා ය. කුඹලා කළේ ඔහු අල්වා මරා සැළියක දමා පෝරණුවෙහි තබා
පිලිස්සෙන්නට ඉඩ හැරීමය.
සවස් යාමෙහි ‘ඝෝෂක’ නිවසට පැමිණි විට
සිදු වූ දේ දැනගත් සිටුවරයා දරාගත නොහැකි ශෝකයෙන් රුධිරය රත් වී කම්පා වී
කෑ ගසා හඩන්නට වූයේය. එයින් ඔහුට අපමණ දුක් වේදනා විඳීන්නට සිදු වූයේය.
බුදුරදුන් මෙ කථාව දේශනා කරමින් දුෂ්ඨකම් නොකරන අයට දුෂ්ඨකම් කිරීමේ බරපතළ
බව පෙන්වා වදාළහ.
කුඹලකු ලවා වළං උදුනේ පුළුස්සා මරන්නට කළ කුමන්ත්‍රණයට සිටුවරයාගේ පුතාම හසුවීමෙන් ඝෝෂක සිටු මැඳුරේ ඉතිරි විය.
එහෙත් සිටුතුමාට මොහු තම නිවසේ සිටිනු බලා සිටිය නොහැකි විය. ඔහු තවත්
කුමන්ත්‍රණයක් කළේය. තමාගේ ගම් සියයේ අයබදු එකතු කරන්නා වෙත යවා මරවන්නට
තීරණය කළේය.ඒ අනුව මේ ලිපිය රැගෙන එන්නේ තමාගේ අවජාතක පුතෙකු බවත් ඔහු මරා
වැසිකිළියක දමන ලෙසත්, එය ඉටු කළ විට ඔහුට බොහෝ වස්තුව දෙන බවත් දන්වා
ලිපියක් ලියා ඝෝෂක වෙත දී එය ගම් සියයේ අය බදු එකතු කරන්නාට ගෙන ගොස්
දෙන්නැ’යි කීය. ඝෝෂක අකුරු නොදත් හෙයින් එය කියවිය නොහැකි විය.එය තම ඉනෙහි
ගසා ගෙන අතරමඟ යාළු සිටුවරයෙකුත් හඳුන්වා දී ඔහුගේ නිවසට ගොස් ආහාරපාන ගෙන
යන ලෙසද දැන්වීය.
ඝෝෂක දුර මඟ ගෙවා යද්දී කුසගිනි ඇතිවූ හෙයින්
පෙර කී සිටුතුමාගේ නිවසට ගියේය. එම සිටු බිරිය ඝෝෂක හඳුනා ගෙන බොහෝ සෙයින්
සංග්‍රහ කළේය. එම සිටුවරයාට දොළොස් වියැති දියණියක් වූ අතර ඇය ඉතා
ප්‍රසාදජනක අභිරූපිනියක් ද වූවාය. ඇගේ මෙහෙවරට දාසියකද සිටියාය. සිටුබිරිය
මෙම දාසිය ලවා ඝෝෂකගේ පා දෝවනය කරවා තෙල් ගල්වා සයනයක් සුදානම් කරවා වෙහෙස
නිවන්නට නිදන්නට පැවරුවාය.
ඝෝෂක සිටුපුත් කෙරෙහි අවධානයෙන් සිටි
තරුණ සිටු දියණිය තුළ ඝෝෂක කෙරෙහි පේ‍්‍රමයක් ජනිත වූවාය. පෙර සසර මග ඔහුට
බොහෝ වාරයක් බිරිය වී සිටි මේ සිටු දියණියට ආත්මගත එම සබැඳියාව මෙහිදී
ඉස්මතු විය. එබැවින් ඝෝෂක වෙතට ළං වූ සිටුදියණිය ඔහුගේ ඉනෙහි යමක් ඇති බව
දුටුවාය. එය සෙමින් රැගෙන ඉහළ මාලයට නැගි සිටු දියණිය එය සෙමින් කියවා
බැලුවාය.
තමාගේ මරණ ලිපිය තමාගේ ඉනෙහි තබා ගෙන සිටින බව දුටු සිටු
දියණිය බෙහෙවින් කම්පාවට පත්ව වෙනත් ලිපියක් ලියුවාය. එහි මෙසේ විය.
මිත්‍රය, මේ ලිපිය රැගෙන එන්නේ මගේ අදරැති පුතු ඝෝෂකය. ගම් සියයෙහි අය බදු
එකතු කොට අසුවල් ජනපදයේ සිටුවරයාගේ දියණිය මොහුට විවාහ කර දෙන්න. දෙමහල්
මැදුරක් තනා එය ප්‍රාකාරවලින් වටකොට ආරක්‍ෂක විධිවිධාන යොදන්න. ඒ සියලු දේ
ඉටු කොට ඒ බව මට දන්වා ලිපියක් එවන්න”
මෙම ලිපිය ලියා මරණ ලිපිය
වෙනුවට ඝෝෂගේ ඉනෙහි රැඳවීය. දෙවෙනි දින උදෑසනම ඝෝෂක පිබිදී අයබදු එකතු
කරන්නා වෙත ගොස් තම පියා දුන් ලිපිය ඉදිරිපත් කළේය. ඔහු එම ලිපිය බලා මහත්
සංතෝෂයට පත්ව අලංකාර මැදුරක් තනවා ජනපද සිටුවරයාගේ යටකී දියණිය ඝෝෂක වෙත
විවාහ කර දී සියලු ආරක්‍ෂාවද සැලසීය. සියල්ල නිමවා ඒ බව ඝෝෂකගේ පියාටද
දන්වා යැවීය. එය දැනගත් පියා එම මරණ උපක්‍රමයද වැරැදී ගිය බව දැන මහත්
කම්පාවට පත්ව එය විඳ ගත නොහී අතීසාරය නමැති මාරාන්තික රෝගයට ගොදුරු විය.
මරණාසන්නයෙහි සිටියදී පුතු තමන් වෙතට කැඳවන්නට කල්පනා කළ සිටුවරයා
අයකැමියා ලවා දූතයන් පිටත් කර යැවීය. ඒ දූතයන්ට එහි අවශ්‍ය ගේ දොර ආදිය
ලදින් පියාගේ අසනීපය දැන්වීම වැළකුණි. අවසන පියා අසාධ්‍ය තත්ත්වයට පත් වූ
විට තවත් දූතයෙකු වෙතින් ඒ බව දැන සිටුපුත්‍රයා පියා බලන්නට පැමිණියේය.
සිටුවරයාගේ සතළිස් කෙළක් ධනය හා ගම්බිම් සියල්ල සිටුපුත්‍රයාට නොදෙමි’ යි
කියන්නට උත්සාහ කළත් දෙමි’යි කියා කියවුණේය. එයින් වේදනාව දරුණු වී මරුමුවට
පත් විය. සිටුවරයා මිය ගිය බව රජුට දැන්වූ පසු සිටුවරයාගේ අවසන් කටයුතු
නිමවා තරුණ පුතුට සිටු තනතුර ප්‍රදානය කරන්නට රජ මැදුරට එන්නැ’ යි රජතුමා
දැන්වීය.
එදින වැසි දිනයක් විය. රජ මිදුල පුරා තැනින් තැන ජල
කඩිති විය. සිටු පුත්‍රයා රජ මැදුරට එද්දී මේ ජල කඩිති උඩින් පැන කෙළිලොල්
තරුණයෙකු ලෙස එන අයුරු රජතුමා සීමැදුරු කවුළුයෙන් බලා සිටියේය.
පැමිණ රජුට ගෞරව දැක්වූ කල නගරයේ සිටු තනතුර ප්‍රදානය කළේය. එය රැගෙන ආපසු
යද්දී සෑම ජලකඩිත්තකින්ම බැස ජලය පාගමින් යන අයුරු රජතුමා බලා සිටියේය.
රජමැදුරට එන විට ජලකඩිති උඩින් පැන පැන ආ මේ තරුණයා ආපසු යද්දි බැස යන්නේ
ඇයි දැයි කල්පනා කළ රජතුමා තරුණයා ගෙන්වා ඒ ගැන විමසීය. ඔහු කීවේ රජතුමනි,
මා මෙහි එද්දී කෙළිලොල් තරුණයෙකි. යද්දි මා සිටුවරයෙකි. එබැවින් තනතුරෙන්
ලද ශික්‍ෂණය නිසා එසේ ගිය බව කියා සිටියේය. එයින් රජතුමා බොහෝ පැහැදීමට
පත්විය.
අනතුරුව මෙම සිටු තනතුර ලබන්නට තම බිරිඳ ඉටු කළ
කාර්යභාරයද දැනගත් පසු තමා සත්වරක්ම මරා දමන්නට පියා ක්‍රියා කළ අයුරු දැන
එයින් වැළකී සිටු තනතුර ලැබීමේ සතුට වෙනුවෙන් දිනපතා දහස බැගින් වියදම් කොට
දන්සැලක් ද ඉදිකොට බොහෝ යහපත් ලෙස කල් ගෙවීය.
තෙරුවන් සරණයි
ධර්ම දානය පිණිස යහළුවන් අතරේ බෙදා හරින්න..
බුදුසරණ අන්තර් ජාල කලාපය ඇසුරෙනි
" The Gift of Dhamma (Truth) Excels All other Gifts "
" සබිබදානං ධමිමදානං ජිනාති "
No comments:
Post a Comment